රුපියල් පන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා හෂීෂ් මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි තායිලන්ත ජාතිකයින් තිදෙනෙකු අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරුවන් වයස අවුරුදු 22ක දෙදෙනෙකු සහ 33 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ.
ඔවුන් අද අලුයම 12.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට අයත් TG-307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
සැකකරුවන් රැගෙන ආ ගමන් මලු තුන පරීක්ෂා කිරීමේදී, රූපලාවන්ය ආලේපන අඩංගු බඳුන් තුළ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ හෂීෂ් මත්ද්රව්ය කිලෝග්රෑම් 5යි ග්රෑම් 96ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන සඳහා අද මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















