කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වාර්ෂික මගී ධාරිතාව 2055 වන විට මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කරුණු වාර්තා කර තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම සැලැස්මට අනුව, 2027 වසර වන විට කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිජිටල්කරණය ඇතුළු මූලික සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතය.
රැස්වීමේදී අනාවරණය වූ පරිදි මත්තල ගුවන්තොටුපොළ වසරකට රුපියල් බිලියන 4ක පාඩුවක් ලබන අතර, එම පාඩුව පියවීම සඳහා ආයෝජන යෝජනා කැඳවා ඇති අතර 2027 වන විට එම ගැටලුව නිරාකරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල මගී මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට ගුවන් හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එසේම කොළඹ වරායේ ලොජිස්ටික් පාක්, දකුණු වරායේ දියකඩන දීර්ඝ කිරීම සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය වැනි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය. බදු මුදල්වලට බරක් නොවන ලෙස රාජ්‍ය ආයතනවල මූල්‍ය ශක්තිය භාවිත කරමින් සේවාවන් ඩිජිටල්කරණය කර ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.















