කටුනායක ගුවන් තොටුපොළ 18 කණුව මංසන්ධිය අසල, තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදි කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් අද (19) උදෑසන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පවතී. 2020 දී තරු පංතියේ සංචාරක හෝටලයක් සඳහා අනුමැතිය ලබාගෙන, පසුකාලීනව එය වර්ග මීටර් 12,925ක පස් මහල් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලෙස බලපත්‍රය වෙනස් කරගෙන ඇත. මෙම ඉදි කිරීම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර පාසල්, මීගමුව කළපුව සහ කඩොලාන සංරක්ෂිත වනාන්තරය ඇතුළු සංවේදී පරිසර පද්ධතිවලට සෘජු බලපෑම් එල්ල කරයි.
ගුවන් ධාවන පථයට ආසන්නව ඉදිකෙරෙන මෙම කම්හලෙන් නිකුත් වන සිමෙන්ති දූවිලි, ගුවන් යානා එන්ජින්වලට දැඩි අහිතකර බලපෑම් ඇති කරන බව ගුවන් යානා ඉංජිනේරුවරුන් පෙන්වා දෙයි. ආගමික නායකයින්, ධීවර ජනතාව, පරිසරවේදීන්, සංචාරක හෝටල් හිමියන් සහ පාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සහ ජනාවාසවලට සිමෙන්ති දූවිලි හේතුවෙන් එල්ල වන බලපෑම් පිළිබඳව ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය පළ කර සිටිති.
















