කටුනායක ගුවන් තොටුපළ සිට අන්දියාම්බලම සහ මිනුවන්ගොඩ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ නැවත නැවතත් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා άප්‍රමාණවත් පියවර ගැනීමට බලධාරීන් තීරණය කර තිබේ. විශේෂයෙන්ම ‘ඩිට්වා’ සුළි කුණාටුව පැවති සමයේ සහ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගුවන් තොටුපළ අසල නයිකන්ද පාමුල මාර්ගය ජලයෙන් යටවීම නිසා ගුවන් මගීන් සහ රියදුරන් දැඩි අපහසුතාවයට පත්වූ අතර, පැය පහකට වැඩි කාලයක් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම ගැටලුවට විසඳුම් සාකච්ඡා කෙරිණි. මේ සඳහා ගුවන් තොටුපළ සාමාන්‍යාධිකාරී අරුණ රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද රඹුක්වැල්ල ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ගංවතුරට ප්‍රධාන හේතු ලෙස මාර්ගය අසල සිදුකර ඇති අනවසර ඉඩම් ගොඩකිරීම් සහ අසල පිහිටි ඇළ මාර්ගය දිගු කලක් තිස්සේ නඩත්තු නොකිරීම හඳුනා ගැනිණි. එසේම, සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇළ මාර්ගයේ විශාල වශයෙන් වැලි තැන්පත්ව ඇති බවද අනාවරණය විය.
කෙටි කාලීන විසඳුමක් ලෙස, ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සහ අනවසර ඉඩම් ගොඩකිරීම් පිළිබඳව ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වා කඩිනමින් පියවර ගැනීමට තීරණය කෙරිණි. දිගු කාලීන විසඳුමක් ලෙස, අනාගතයේදී සිදුවිය හැකි ගමනාගමන බාධා වැළැක්වීම සඳහා ගංවතුරට ලක්වන මාර්ග කොටස උස් මට්ටමකින් (elevated highway) ඉදි කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු විය.
















