ගල්ගමුව උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස දිවියට සමුදුන් ලක්වාසී ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ‘කාවන්තිස්ස’ ඇත් රජුගේ වියෝවෙන් සත් දිනක් ගතවීම නිමිත්තෙන් ඇතිනිවැටුනුගල රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වතාවත් සහ පින්කම් මාලාවක් පැවැත්විණි. ඇතිනිවැටුනුගල විහාරාධිපති බෝහංදියේ ශාසනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි හතරපේරුවේ දායක සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම පුණ්‍යකර්මයේදී, මියගිය ඇත් රජුට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ ධර්ම දේශනාවක් සහ මහා සංඝරත්නය උදෙසා දහවල් සාංඝික දානමය පින්කමක් ද පවත්වා පින් පමුණුවන ලදී.
ලංකාවේ අලි-මිනිස් ගැටුම හමුවේ දේශීය වනජීවී සම්පතට එල්ල වී ඇති දැඩි තර්ජනය සහ පාරිසරික පද්ධතියේ සංවේදීතාව මෙම ශෝචනීය සිදුවීම හරහා නැවතත් නාගරික හා ග්‍රාමීය ජන සමාජය තුළ ප්‍රබල සංවාදයකට ලක්ව තිබේ. කාවන්තිස්ස ඇත් රජු නිරන්තරයෙන් ගැවසුණු ගැටදිවුල රක්ෂිතය අසල ප්‍රදේශවාසීන් විසින් අයිස්ක්‍රීම් දන්සැලක් ද සංවිධානය කර තිබූ අතර, විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරුණු ඇත් රජුගේ සේයාරුව අභියස ශාසනසිරි හිමියන් විසින් රචිත ‘දැයේ අභිමානය’ සංවේදී කවි පන්තිය ගායනා කිරීමත් සමඟ එම ස්ථානයේ රැස්ව සිටි පිරිස දැඩි සංවේගයට පත්වූහ.
මෙලෙස අභිමානවත් වන අලි සම්පත අවාසනාවන්ත ලෙස විනාශ වී යාම වැළැක්වීම සඳහා පවතින වනජීවී රක්ෂිත සුරක්ෂිත කිරීම සහ විද්‍යාත්මක අලි-මිනිස් කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ක්ෂණික අවශ්‍යතාව මෙම සිදුවීමෙන් නැවතත් අවධාරණය කෙරේ. වනජීවී බලධාරීන් සහ රාජ්‍ය ආයතන එක්ව අලින්ගේ ගමන් මාර්ග හා රක්ෂිත භූමි ආරක්ෂා කිරීමට කඩිනම් උපායමාර්ගික පියවර නොගතහොත්, ඉදිරියේදී මෙවැනි වටිනා වනසම්පත් අහිමි වීම හමුවේ පරිසර පද්ධතියට මෙන්ම දේශීය සංචාරක හා සංස්කෘතික අනන්‍යතාවයට ද දැඩි හානියක් සිදුවනු ඇතැයි පාරිසරික විචාරකයෝ පෙන්වා දෙති.














