රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ඉදිරි ප්රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත වී තිබේ.
එහිදී ඇතාගේ සෞඛ්ය තත්ත්වය, දැනට ක්රියාත්මක ප්රතිකාර සැලැස්ම සහ ඉදිරියේදී ගත යුතු වෛද්යමය ක්රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත. අවශ්යතාව මත සත්වෝද්යානවල සේවය කරන පශු වෛද්ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටත්, අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.
කාවන්තිස්ස ඇතාගේ රාත්රී කාලයේ හැසිරීම්, ගමන් රටාව සහ ජලය පානය කිරීම ඇතුළු ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා තාප සංවේදී (Thermal) ඩ්රෝන කැමරා තාක්ෂණය යොදාගැනීමට අවශ්ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටද පියවර ගෙන ඇත. එමගින් ලබාගන්නා තොරතුරු ඉදිරි ප්රතිකාර තීරණ ගැනීමේදී පශු වෛද්ය කණ්ඩායමට ප්රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, ඇතාගේ සෞඛ්ය තත්ත්වය බරපතළ වුවහොත් හෝ හදිසි ප්රතිකාර සඳහා ස්ථානගත කිරීමක් අවශ්ය වුවහොත් භාවිත කළ හැකි ආරක්ෂිත පටි, එසවීමේ හා ප්රවාහන උපකරණ සහ බැකෝ යන්ත්ර, බූම් ට්රක් රථ ඇතුළු යන්ත්රෝපකරණ කල්තියා සූදානම් කර තැබීමටද අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
ඇතාගේ සෞඛ්ය තත්ත්වය, ප්රතිකාරවල ප්රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පශු වෛද්යවරුන් හා නිලධාරීන් සමඟ දිනපතා Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත්වීමද අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.
හොඳම ප්රතිඵලය අපේක්ෂා කරන අතරම ඇතිවිය හැකි බරපතළ තත්ත්වයන්ටද කල්තියා සූදානම් විය යුතු බව අමාත්යවරයා අවධාරණය කර තිබේ. විශේෂඥ වෛද්ය උපදෙස් මත ප්රතිකාර හා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි.
















