කසකස්තානයෙන් ඉතා අඩු මිලකට යූරියා පොහොර ලබාගත හැකිව තිබියදී රජය වැඩි මිලට පොහොර ආනයනය කරන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අවධාරණය කරයි. මැයි 4 වන දින ඇතැම් මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර තිබේ.
කසකස්තානයෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 220-320ත් අතර මිලකට මිලදී ගත හැකි බවට ප්‍රකාශ වුවද, ජාත්‍යන්තර ‘Argus’ සඟරාවේ වාර්තාවන්ට අනුව මැදපෙරදිග යූරියා මිල (FOB) මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 840-910ත් අතර ඉහළ අගයක පවතී. ඉන්දියාව පවා පසුගිය මාසයේ යූරියා මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 900කට වඩා වැඩි මිලකට බව පොහොර ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
කසකස්තානයෙන් පොහොර ආනයනය කිරීමට ඉල්ලුම් කළ ‘Ceylon Trading and Plantation (Pvt) Ltd’ ඇතුළු සියලු ආයතන වෙත රජය අනුමැතිය ලබා දී ඇතත්, අඩු මිලට පොහොර ආනයනය කිරීමට එම කිසිදු සමාගමක් මෙතෙක් සමත්ව නොමැති බව ද රජය සඳහන් කරයි. ලෝක වෙළඳපොළේ පවතින සැබෑ මිල ගණන් සහ ගොවි නියෝජිතයන් පවසන මිල ගණන් අතර විශාල පරතරයක් පවතින බැවින් මහජනතාව නොමඟ යවන පුවත් පිළිබඳව විචාරශීලී වන ලෙස රජය ඉල්ලා සිටී.













