ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජූනි 9 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRPD) 19 වැනි රාජ්‍ය පාර්ශවයන්ගේ සමුළුවේ (COSP19) සමාරම්භක සැසිය ඇමතීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආබාධිත අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන නිල්ෂානි ද සිල්වා මහත්මිය තේරී පත්ව තිබේ.
ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) තත්ත්වයෙන් පෙළෙන, එහෙත් සිය අසිරිමත් දක්ෂතාවලින් පෙරටම පැමිණ සිටින ඇය, මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ නිල “තරුණ නියෝජිතවරිය” ලෙස නම් කර ඇත. ඒ අනුව ජූනි 9 වැනිදා පැවැත්වෙන සමාරම්භක මහා සභාවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා ඇතුළු ලෝක නායකයන් ඉදිරියේ සමුළුව ඇමතීමේ සුවිශේෂී ඓතිහාසික අවස්ථාව ඇයට හිමිව තිබේ.
මෙවර පැවැත්වෙන මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය (Chair) දරනු ලබන්නේ ද ශ්‍රී ලංකාව වීම තවත් විශේෂත්වයක් වන අතර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා එහි මූලාසනය හෙබවීමට නියමිතය.
ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ මෙරට ප්‍රකට දේශකයෙකු, ගුරුවරියක සහ විලාසිතා නිර්මාණකාරිනියක වන නිල්ෂානි ද සිල්වා ලැබූ මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට ආබාධිත ප්‍රජාව ලැබූ ජාත්‍යන්තර මට්ටමේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.
















