ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ඇති වූ සැපයුම් පීඩනයත් සමඟ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කෙන්යාවේ ක්‍රියාත්මක වූ පොදු ප්‍රවාහන වර්ජනය, රජය සහ බස් හා මිනි බස් රථ හිමියන්ගේ සංගම් අතර ඇති වූ අතුරු එකඟතාවයකින් පසුව අද (19) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
වර්ජනය හේතුවෙන් රට පුරා හටගත් දැඩි ජනතා විරෝධතා සහ ගැටුම්කාරී තත්ත්වයන් නිසා පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව කෙන්යානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කිප්චුම්බා මුර්කොමෙන් (Kipchumba Murkomen) මහතා තහවුරු කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය සහ ප්‍රවාහන ක්‍රියාකරුවන් අතර ඉදිරි සාකච්ඡා සඳහා ඉඩ ප්‍රස්ථා සලසමින් වර්ජන ක්‍රියාමාර්ගය සතියක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බවයි.
වර්ජනයේ පළමු දිනය වූ ඊයේ (18) දින පැවැති සාකච්ඡා අසාර්ථක වූයේ ඩීසල් ලීටරයක මිල ශිලිං 10කින් (10 shillings) අඩු කිරීමට රජය එකඟ වුවද, ප්‍රවාහන සංගම් ඉල්ලා සිටි ශිලිං 46ක මිල අඩු කිරීමේ ඉලක්කය සපුරාලීමට එය අපොහොසත් වීම හේතුවෙනි. කෙන්යානු බලශක්ති අමාත්‍ය ඔපියෝ වන්දායි (Opiyo Wandayi) මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම ලීටරයකට ශිලිං 10 බැගින් සිදුකළ මිල අඩු කිරීම නිසා පමණක් කෙන්යානු රජයට ශිලිං බිලියන 2.7ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 20.79ක) ආදායමක් අහිමි වන බවයි. මෙම වර්ජනය හේතුවෙන් කෙන්යාවේ ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම අඩපණ වූ අතර පාසල් තාවකාලිකව වසා දැමීමට ද බලධාරීන් කටයුතු කර තිබුණි.














