කැප්පෙටිපොළ සහතික කළ පිරිමි පාසලේ රැඳවුම් භාරයේ සිටි දරුවන් පිරිසකට බට සහ පොලුවලින් අමානුෂික ලෙස පහරදුන් බව කියන අධීක්ෂක නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පාසලේ උපදේශකවරුන් ලෙස කටයුතු කළ අරක්කැමියෙකු, විදුලි කාර්මිකයෙකු සහ පෙදරේරු උපදේශකයෙකි. වයස අවුරුදු 13ත් 18ත් අතර පසුවන, පුනරුත්ථාපනය සඳහා යොමුකර සිටි මෙම දරුවන් තමන්ට සිදුවන වධහිංසා පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දුරකථනයෙන් කළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස ළමා කාර්යාංශය සහ පළාත් ළමා ආරක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.














