ඇමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර නායක මොහ්තබා ඛමේනි (Mojtaba Khamenei) මහතා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස තමන් මෙම ගිවිසුමට එකඟ නොවන බවයි. කෙසේ වෙතත්, උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් (Pezeshkian) මහතා සහ එහි සෙසු සාමාජිකයින් ඉරාන ජාතියේ මෙන්ම ප්‍රතිරෝධී පෙරමුණේ (Resistance Front) අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් එහි සම්පූර්ණ වගකීම පැහැදිලිවම භාරගත් නිසා තමන් ඒ සඳහා අවසර දුන් බව ඔහු සඳහන් කළේය. ඇමෙරිකානු පාර්ශවය අනිසි ඉල්ලීම් ඉදිරිපත් කළහොත් ඒවා කිසිසේත් පිළි නොගන්නා බවට රජය සහතික වී ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන මුහුණට මුහුණ සාකච්ඡා මඟින් සතුරාගේ මතය පිළිගැනීමක් අදහස් නොකරන බවත් උත්තරීතර නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ඉරානයේ ඉහළම බලධාරියා විසින් නිකුත් කරන ලද මෙම පළමු ප්‍රකාශය හරහා, ගිවිසුම අසාර්ථක වුවහොත් සිදුවන දේශපාලන අවදානම සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පිට පැටවීමට ඔහු කටයුතු කර ඇති බවයි. දැඩි මතධාරී පාර්ශවයන්ගේ විවේචනවලින් බේරීම සඳහා තමන් පරාජය නොවූ බව පෙන්වීමට උත්තරීතර නායකයා උත්සාහ කර ඇති බවත්, මෙම ප්‍රකාශය තුළින් ඇමෙරිකා-ඉරාන එකඟතාවල පවතින අතිශය බිඳෙනසුලු සහ අවිශ්වාසවන්ත ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
















