හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ සුගීෂ්වර බණ්ඩාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරමින් වැටුප් ලබා ඇති අතර, ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසුව ද ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බව ලේඛනවල සඳහන් වෙයි. 1986 අංක 4 දරණ ජනාධිපති වරප්‍රසාද පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකුගේ පුද්ගලික ලේකම් දීමනාව හිමිවන්නේ අදාළ ජනාධිපතිවරයාට වන අතර ලේකම්වරයා කවුදැයි තීරණය කරන්නේ ද එම ජනාධිපතිවරයාමය. කෙසේ වෙතත්, සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස වැටුප් දෙකක් ලබාගත් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් මෙතෙක් පොලීසිය සතුව නොමැති අතර, අදාළ වරප්‍රසාද පනත ද 2025 සැප්තැම්බර් 10 වන දින පාර්ලිමේන්තුව විසින් අහෝසි කර තිබේ.
මෙම සිදුවීමේ විශේෂිතම පෙරළිය වන්නේ සුගීෂ්වර බණ්ඩාර මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා මහතා ද එකවර ආයතන තුනකින් වැටුප් ලබාගත් අයෙකු බවට තොරතුරු අනාවරණය වීමයි. ඔහු පශුසම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ලෙසත්, ආන්දෝලනාත්මක ඔස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ගණකාධිකාරිවරයා ලෙසත්, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙසත් එකවර තනතුරු දරමින් වැටුප් ලබා ඇති බව පැවසෙන අතර, ඊට අදාළ වවුචර් පත් ඉදිරියේදී අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු සූදානම් වෙමින් පවතී.
















