යුක්‍රේනයේ කියිව් අගනුවරදී සිදුවූ මාරාන්තික වෙඩි තැබීමකදී සිවිල් වැසියන් අනතුරේ දමා පලාගිය පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට වගකීම භාරගනිමින්, එරට මුර සංචාරක පොලිස් ප්‍රධානී යෙව්ගන් ෂුකොව් (Yevhen Zhukov) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය සෙනසුරාදා කියිව් නුවර හොලොසිව්ස්කි දිස්ත්‍රික්කයේදී පුද්ගලයෙකු සිදුකළ අත්තනෝමතික වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලැබූහ. ප්‍රහාරකයා සුපිරි වෙළඳසැලක පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන සිටි අතර පසුව පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. කෙසේ වෙතත්, ප්‍රහාරය අතරතුර පොලිස් නිලධාරීන් පිරිසක් සිවිල් වැසියන් අතහැර පලායන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ දැඩි ජනතා විවේචනයක් එල්ල විය.
තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ෂුකොව් මහතා ප්‍රකාශ කළේ, අදාළ නිලධාරීන් තත්ත්වය නිසි ලෙස තක්සේරු කිරීමට අසමත් වූ බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපය “වෘත්තීය නොවන සහ නින්දිත” එකක් බවත්ය. යුක්‍රේන බලධාරීන් මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.














