උතුරු කොරියාවේ 78 වන ජාතික දිනය (පදනම් වීමේ සංවත්සරය) වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් එරට නායක කිම් ජොන් උන් (Kim Jong Un) විදෙස්ගත හමුදා මෙහෙයුම්වල නිරත වන සෙබළුන් විශේෂයෙන් අගය කර තිබේ. ප්යොංයැං නුවර පැවති සභා රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළ අතර, ‘විදෙස් හමුදා මෙහෙයුම්වලට සහභාගී වන අණදෙන නිලධාරීන්ට සහ සෙබළුන්ට’ විශේෂ කෘතඥතාව සහ ගෞරමය පුද කරන බවට රාජ්‍ය මාධ්‍ය (KCNA) වාර්තා කර ඇත. මෙය බොහෝ දුරට රුසියානු-යුක්රේන යුද්ධය සඳහා යොදවා ඇති උතුරු කොරියානු හමුදා කණ්ඩායම අරමුණු කර ප්‍රකාශ කළක් බව විශ්වාස කෙරේ.
බටහිර සහ දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තාවලට අනුව, 2024 අගභාගයේ සිට රුසියානු හමුදා සමඟ සටන් කිරීම සඳහා උතුරු කොරියාව විසින් ඇස්තමේන්තුගත සෙබළුන් 14,000ත් 15,000ත් අතර පිරිසක් යොදවා තිබේ. හමුදා සහ යුධෝපකරණ සැපයීමට ප්‍රතිඋපකාර ලෙස රුසියාවෙන් ආර්ථික සහ හමුදා තාක්ෂණික සහය ලැබෙන බව ද දකුණු කොරියානු බුද්ධි අංශ පෙන්වා දෙයි.
















