උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් සියදිවි නසාගැනීම තහනම් කරමින් රහස් නියෝගයක් නිකුත් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රේඩියෝ ෆ්‍රී ඒෂියා (RFA) වාර්තාවලට අනුව, ඔහු සියදිවි නසාගැනීම “සමාජවාදයට එරෙහි දේශද්‍රෝහී ක්‍රියාවක්” ලෙස අර්ථ දක්වා ඇති අතර, රට තුළ සියදිවි නසාගැනීම් ඉහළ යාම වැළැක්වීම සඳහා පළාත් පාලන ආයතන වෙත මෙම රහස් උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
තම බලප්‍රදේශය තුළ සිදුවන සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමට අපොහොසත් වන දේශීය නිලධාරීන්ට ඒ සඳහා සාමූහිකව වගකීමට සිදුවන බව මෙම නියෝගයේ දැක්වෙන බව ද වාර්තාවල සඳහන් වේ. උතුරු කොරියාවේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා, සාගින්න සහ දරිද්‍රතාවය හේතුවෙන් පවුල් පිටින් සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් පවතින බව දකුණු කොරියානු බුද්ධි අංශ පෙන්වා දී තිබේ.
උතුරු කොරියානු නීතියට අනුව පුද්ගලයෙකු යම් අපරාධයක් කළහොත් ඔහුගේ පරම්පරා තුනකට දඬුවම් විඳීමට සිදුවන බැවින්, සියදිවි නසාගන්නා පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට ද මෙවැනි දඬුවම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බව පැරණි වාර්තාවල ද සඳහන් වේ. කෙසේ වෙතත්, උතුරු කොරියාව ඉතා දැඩි පාලනයක් පවතින සහ තොරතුරු රහසිගතව තබාගන්නා රටක් බැවින්, මෙවැනි නියෝග පිළිබඳ නිල තහවුරු කිරීම් ලබාගැනීම අතිශය දුෂ්කර බව ද අමතක නොකළ යුතුය.














