එන්ඩීබී (NDB) බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පසුගිය 05 වැනිදා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී, අදාළ වංචාව හඳුනා ගැනීමට බැංකුවේ අභ්‍යන්තර හා බාහිර විගණන අංශ මෙන්ම මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ද අසමත් වූයේ මන්දැයි දැඩි ලෙස ප්‍රශ්න කරන ලදී.
මෙම මූල්‍ය වංචාව එන්ඩීබී බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ එහි ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී පෙන්වා දුන්නේය. එසේම බැංකුවල පවතින අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සහ විගණන කමිටු සිය වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් අදාළ වංචනික ක්‍රියාවලිය සිදුවූ කාලසීමාවේදී එවැනි අසාමාන්‍යතා පිළිබඳ කිසිදු කරුණක් මතු වී නොතිබූ බව මහ බැංකු නිලධාරීන් කාරක සභාවට දැනුම් දී ඇත.













