උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සහ චීනයේ සිව්වන ඉහළම නිලධාරියා වන වෑන්ග් හුනින්ග් මහතා අතර පියොන්ග්යැන්ග් නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. උතුරු කොරියාවේ ආරාධනයකට අනුව චීන නියෝජිත පිරිසක් පසුගිය බදාදා පියොන්ග්යැන්ග් වෙත පැමිණියේය.
මෙම හමුව පැවැත්වෙන්නේ ජූනි මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා වසර හතකට පසු උතුරු කොරියාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව දෙරට අතර උසස් මට්ටමේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙසිනි. උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතා වර්ධනය වෙමින් පවතින පසුබිමක, තම සාම්ප්‍රදායික මිත්‍ර රටක් වන උතුරු කොරියාව කෙරෙහි චීනයේ බලපෑම තහවුරු කර ගැනීමට මෙම සංචාරය ඉවහල් වනු ඇති බව විචාරකයෝ පවසති.
සමුළුවේදී දෙපාර්ශවයම අවධාරණය කළේ ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සංචාරයේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට තමන් කැපවී සිටින බවයි. ඒ අනුව දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාවය පුළුල් කිරීමට සහ උසස් නිලධාරීන්ගේ සංචාර හරහා උපායමාර්ගික සන්නිවේදනය දියුණු කිරීමට දෙරට එකඟ විය. චීන නියෝජිත පිරිස සිය සංචාරය අතරතුර කොරියානු යුද්ධයේදී මියගිය චීන සොල්දාදුවන් සිහිපත් කෙරෙන ස්මාරකයකට සහ පාලක පක්ෂයේ පුහුණු පාසලකට ද ගොස් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














