වොෂින්ටන් හි වයිට් හවුස් (White House) වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය හමුවේ වුවද, බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ ඇමෙරිකානු සංචාරය සැලසුම් කළ පරිදිම අද (27) සිට ක්‍රියාත්මක වන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඇමෙරිකානු බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව බකිංහැම් මාලිගය තහවුරු කළේ රජු සහ කැමිලා රැජිනගේ සිව්දින නිල සංචාරය නොවෙනස්ව පවතින බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ’60 Minutes’ වැඩසටහනට එක්වෙමින් පවසා සිටියේ රජුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ධවල මන්දිර පරිශ්‍රය ඉතා ආරක්ෂිත බවත්ය.
මෙම සංචාරය අතරතුර චාල්ස් රජු ජනාධිපති ට්‍රම්ප් සමඟ පෞද්ගලික සාකච්ඡාවකට එක්වීමටත්, ඇමෙරිකානු නිදහසට වසර 250ක් පිරීම නිමිත්තෙන් කොංග්‍රස් මණ්ඩලය ඇමතීමටත් නියමිතය. විශේෂයෙන් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් දෙරට අතර පවතින මතභේද මධ්‍යයේ ඇමෙරිකා-බ්‍රිතාන්‍ය සබඳතා යළි ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
ජනාධිපති ට්‍රම්ප් සහ පිරිසට හානියක් නොවීම පිළිබඳව චාල්ස් රජු සැනසීමට පත්ව ඇති අතර, ඔහු ජනාධිපතිවරයා වෙත සිය කණගාටුව ද පළ කර තිබේ. ආරක්ෂක හේතූන් මත සංචාරයේ වැඩසටහන් කිහිපයක සුළු වෙනස්කම් සිදුවිය හැකි වුවද, සමස්ත සංචාරය සැලසුම් කළ පරිදිම සිදුකිරීමට බ්‍රිතාන්‍ය රජය සහ ඇමෙරිකානු ආරක්ෂක අංශ සමීප සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.














