කිරිබත්ගොඩ සහ පානදුර යන ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුම් දෙකකදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) කිරිබත්ගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.096ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 2.070ක් සහ මත්පෙති 5,000ක් එම සැකකරු සතුව තිබී සොයාගෙන ඇත. සැකකරු 31 හැවිරිදි දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) සිදුකළ තවත් වැටලීමකදී අලුබෝමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.716ක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයින පුරා බෙදාහැරීමේ ජාලයක කොටසක් බවත්, ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත මෙය සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු අද (19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.














