යේමනයේ සානා අගනුවර පිහිටි ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අනතුරුව, නැවත දැනුම් දෙන තුරු රට තුළ ඇති සියලුම ගුවන්තොටුපළවල් ගුවන් ගමනාගමනය සඳහා වසා දැමීමට යේමන සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. යේමන රජය සඳහන් කළේ, ඉරාන ගුවන් යානයක් සානා ගුවන්තොටුපළට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා තම ආරක්ෂක බලකායන් විසින්ම මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.
ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන් යේමන ජාතික ගුවන් යානාවලට ගොඩබැස්වීමට බාධා කරමින්, ඉරාන ගුවන් යානයක් මෙලෙස නීතිවිරෝධීව ගොඩබැස්වීමට උත්සාහ කළ බව රජය නිවේදනය කරයි. ඊට ප්‍රතිචාරයක් ලෙස ගුවන්තොටුපළේ ධාවන පථය විනාශ කර ඇති අතර, කලාපීය ආරක්ෂක තත්ත්වය සලකා යේමනයේ සමස්ත ගුවන් ගමන් මෙහෙයුම් මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් වී තිබේ.














