කොස්ගම – පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් සහිත වළ හාරා, එහි තොවිලයක් පැවැත්වූ පිරිසක් සොයා කොස්ගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය මැයි 16 දින තාවල්ගොඩ ඇලේ දියේ ගිලී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් මෙම ස්ථානයේ මිහිදන් කර තිබුණි.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ ඉකුත් 14 වනදා අලුයම් කාලයේදීය. සුසාන භූමිය ආසන්නයේ තිබූ CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකදී සැකකටයුතු ලොරි රථයක් සහ යතුරුපැදියක් නිරීක්ෂණය වී ඇත. අදාළ ලොරි රථය කොස්ගම ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති බව තහවුරු වූ අතර, එහි නිවැසියෙකු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් සුව කරගැනීම සඳහා මහියංගණයෙන් පැමිණි යකදුරන් පිරිසක් විසින් මෙම තොවිලය සිදුකළ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නිවැසියා පසුගිය 16 වනදා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. අධිකරණ නියෝග මත වළ වසා දැමීමට කටයුතු කළද, වළ තුළ මිනී පෙට්ටි නොමැති බවට ඥාතීන් තුළ ඇතිවූ සැකයක් මත ඊයේ සවස ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. පසුව ගම්වාසීන් ඉදිරියේම යළි කැණීම් සිදුකර, මිනී පෙට්ටි එම ස්ථානයේම පවතින බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව, දේහයන් නැවත නිසි පරිදි භූමදානය කිරීමට කටයුතු කර ඇත.
තොවිලය නැටූ බව පැවසෙන යකදුරා සහ එම කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















