සෞඛ්‍ය අංශවල දැඩි නිර්දේශ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් නොතකමින් සිගරට් මත පනවන බදු ප්‍රතිපත්තියේ සිදුකර ඇති වෙනස්කම් හේතුවෙන් රජයට දැවැන්ත ආදායම් අහිමිවීමක් සිදුවී ඇති බව නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සිගරට් සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් අය විය යුතු බව වුවද, ශ්‍රී ලංකාව තුළ එම ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම දැඩි විවේචනයට ලක්ව තිබේ.
මෙම අර්බුදයේ ආර්ථික සහ සමාජීය බලපෑම් පිළිබඳව විමසා බැලීමේදී වැරදි බදු ක්‍රමවේදයන් හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 9.4 ක් හෙවත් රුපියල් කෝටි 940 ක් බව පෙනී යයි. 2024 වසරේදී වැඩිම අලෙවියක් ඇති සිගරට් කාණ්ඩයේ බදු ප්‍රතිශතය 74.0% සිට 68.8% දක්වා පහළ බැස ඇති අතර 2025 වසරේද එම තත්ත්වය එලෙසම පැවතීම ගැටලු සහගතය.
2000 සිට 2025 දක්වා කාලය තුළ රටේ සිගරට් නිෂ්පාදනය පහළ ගියද ලංකා දුම්කොළ සමාගමේ ලාභය අඛණ්ඩව ඉහළ යාම සිදුවී ඇත. මෙය රටේ බදු ප්‍රතිපත්තිය දුම්කොළ සමාගම්වලට වාසිදායක වන අයුරින් සැකසී ඇති බවට ප්‍රබල සාක්ෂියකි. සිගරට් බදු අඩු කිරීම මගින් ඒවා මිලදී ගැනීමේ හැකියාව වැඩි වී ඇති අතර එය සෘජුවම මහජන සෞඛ්‍යයට තර්ජනයකි. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර සිගරට් භාවිතය ඊට ප්‍රධානතම හේතුවක් බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. වාර්ෂිකව වළක්වා ගත හැකි මරණ 20,000ක් සිගරට් භාවිතය නිසා සිදුවීම බරපතළ ව්‍යසනයකි.
විචාරකයින් පෙන්වා දෙන්නේ වත්මන් බදු ප්‍රතිපත්තිය රජයේ ආදායම් ඉලක්කවලට සහ මහජන සෞඛ්‍ය ඉලක්කවලට එක ලෙස පටහැනි බවයි. මෙම ආර්ථික සහ සෞඛ්‍ය විනාශය වළක්වා ගැනීම සඳහා කඩිනමින් විධිමත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවට බලධාරීන්ට යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.
















