ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ උන්වහන්සේ අයත් මහා සංඝ සභාව විසින් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳ කිසිදු විරෝධයක් නොමැති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය අදාළ භික්ෂුවට සහ ඔහු අයත් මහා සංඝ සභාවට පමණක් ඇති බවද උන්වහන්සේ පෙන්වා දී ඇත.
ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් බවට හෝ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ හේතුවක් පිළිබඳව තම සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
















