හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන ඔක්තෝබර් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් දීම සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
දැනට සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළව කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ විභාග වන තවත් අල්ලස් නඩුවකදී සහනදායී දඬුවමක් ලබාදීම සඳහා රුපියල් 50,000ක අල්ලසක් ලබාදීම සහ ලබාගැනීම මෙන්ම ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
















