‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් කොත්මලේ වැවන්ඩන් වතුයායට සහ එහි පිහිටි පාසලට පිවිසෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් ඊයේ (16) උද්ඝෝෂණයක නිරත විය.
මෙම වතුයායේ පදිංචි පවුල් 48ක් නායයෑම් හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් සුරක්ෂිත කඳවුරුවල රැඳී සිටීමෙන් අනතුරුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා අනුව යළි සිය නිවාස වෙත යොමු කෙරිණි. කෙසේ වෙතත්, වතුයායට පිවිසෙන කිලෝමීටර් 5ක මාර්ගය ස්ථාන කිහිපයකින් නායයෑමට ලක්වීම හේතුවෙන් තමන්ට මෙන්ම පාසල් දරුවන්ට ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ පා ගමනින් ගමන් කිරීමට සිදුව ඇති බව උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.
තම ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අපහසු නම්, ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් වතුයායට පිවිසීමට ඇති කිලෝමීටරයක පමණ දුරකින් යුත් විකල්ප මාර්ගය හෝ කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














