ඉන්දීය යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශි මේ වන විට ලෝකය පුරාවට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර වඩාත් කතාබහට ලක්වන ක්‍රීඩකයෙකි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ 15 හැවිරිදි සූර්යවංශි, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරගවැදුණු අවසන් තරග දෙකේදී පිළිවෙළින් ලකුණු 96ක් සහ 97ක් රැස්කර ගැනීමට සමත් විය.
මෙලෙස දස්කම් දැක්වූ සූර්යවංශිව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා විසින් ඇගයීමට ලක්කර තිබේ. ඊයේ (29) පැවති අවසන් පූර්ව තරගයෙන් පසුව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කළේ විභව් සූර්යවංශි ලෝකයේ විශිෂ්ඨතම පන්දු යවන්නන් ඉදිරියේ පවා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ බවයි.
ඔහුට ලැබෙන අභියෝගවලට වඩා ඉහළ අභියෝග භාර ගැනීමට සූර්යවංශි සූදානමින් සිටින බවත්, ඔහුට ඉතා ඉක්මනින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සංගක්කාර වැඩිදුරටත් පැවසීය. තවමත් 15 හැවිරිදි වියේ පසුවන සූර්යවංශිහට ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිවිය යුතු බවට ලොව පුරා ක්‍රිකට් විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් මත පළ කරමින් සිටින පසුබිමක සංගක්කාරගේ මෙම ඇගයීම විශේෂත්වයක් ගනී.
















