ප්‍රසිද්ධ රැස්වීමකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රසාද් සිරිවර්ධන මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබේ. නීතිඥ සම්පත් යාලේවත්ත මහතා මාර්ගයෙන් යොමු කර ඇති මෙම ලිපියට අනුව, පසුගිය මාර්තු 22 වනදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පදනම් විරහිත මූල්‍ය අවභාවිත චෝදනා එල්ල කර ඇත.
වසර 30කට අධික අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි මහතා, ගල් අඟුරු ආනයනයට අදාළ විමර්ශන සඳහා ඉඩ සලසමින් මෑතකදී සිය අමාත්‍ය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ බව එහි පෙන්වා දී තිබේ. අදාළ ප්‍රකාශය මගින් තම සේවාදායකයාගේ කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් සිදුකර ඇති බව නීතිඥවරයා සඳහන් කරයි. ඒ අනුව දින 14ක් ඇතුළත මෙම වන්දි මුදල නොගෙවන්නේ නම් නෛතික පියවර ගන්නා බව එම එන්තරවාසිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.













