මුලතිව්හි ඓතිහාසික කුරුන්දි රජ මහා විහාර භූමියේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් එහි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි විසින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිටම ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කිරීම හේතුවෙන් පුරාවස්තු, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්ව ඇති බව උන්වහන්සේ අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත. එසේම, විවිධ අන්තවාදී කණ්ඩායම් උද්ඝෝෂණ ආදිය සඳහා මෙම ස්ථානයට පැමිණෙන බැවින්, ඒවා වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිසියට පමණක් බවද පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ අවධාරණය කර සිටිති.














