ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ආයතනයක් ලෙස පෙනී සිටිමින්, අනිෂ්ට මෘදුකාංගයක් සහිත සබැඳියක් (Phishing Link) මාර්ගයෙන් පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකින් රුපියල් 408,000ක මුදලක් වංචා කළ 22 හැවිරිදි තරුණයෙකු පරිගණක අපරාධ කොට්ඨාසයේ වාරියපොළ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල, වඳුරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරු විසින් ක්‍රීඩා භාණ්ඩ සමාගමක් ලෙස පෙනී සිටිමින් පැමිණිලිකරුගේ ජංගම දුරකථනයට බැංකු ට්‍රෝජන් යෙදුමක් සහිත සබැඳියක් යොමු කර ඇති අතර, එමගින් දුරකථනයට දුරස්ථ ප්‍රවේශයක් (remote access) ලබාගෙන මෙම මුදල් වංචාව සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පල්ලේගම, මක්කානිගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. පරිගණක අපරාධ අංශයේ වයඹ පළාත් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පණිවිඩ හරහා ලැබෙන නන්නාඳුනන සබැඳි (Links) ක්ලික් කිරීමේදී සහ බැංකු තොරතුරු ලබා දීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙස පොලිසිය මහජනතාවගෙන් නැවත වරක් ඉල්ලා සිටියි.














