හම්බන්තොට පැවැති මැයි දින රැලියකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගල්අඟුරු අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අදාළ මැයි දින කතාවේදී ටිල්වින් සිල්වා මහතා පවසා තිබුණේ, මාස තුනකට පසු කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත්, එමගින් වත්මන් රජය කිසිදු වැරැද්දක් කර නොමැති බව සනාථ වනු ඇති බවත්ය. එසේම වංචා සිදු කළ පුද්ගලයන්ට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති බවට ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.
මෙම ප්‍රකාශයන් මගින් ගල්අඟුරු අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපහාසයක් සිදු වන බව පවසමින් ‘මානවහිතවාදී ඒකාබද්ධ විපක්ෂය’ නම් සංවිධානය පසුගිය 19 වැනිදා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විරෝධතා ලිපියක් භාර දෙන ලදී. මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, අසංක නවරත්න, බන්දුල චන්ද්‍රසේකර, සුගීශ්වර බණ්ඩාර සහ පේශල සේරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම ලිපියට අත්සන් තබා තිබුණි.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පසුගිය 25 වැනිදා ටිල්වින් සිල්වා මහතා කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබීය. එහිදී තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ප්‍රකාශයක් ලබා දී ඇති අතර, කොමිෂන් සභාව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














