පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී යළිත් වරක් සුපිරි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත්ව තිබේ. පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන ඔහු, මුල්තාන් සුල්තාන් කණ්ඩායමට එරෙහිව ඊයේ (13) පැවති තරගයේදී පන්දු 40ක් තුළ වේගවත් ලකුණු 68ක් රැස් කළේය. හයේ පහර 3කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වූ මෙම ඉනිම හේතුවෙන් සිය කණ්ඩායමට ලකුණු 24ක විශිෂ්ට ජයක් හිමිකර දීමටද ඔහුට හැකි විය.
මේ වන විට තරගාවලියේ ඉහළම දක්ෂතා අතර පසුවන කුසල් මෙන්ඩිස්, ක්‍රීඩා කළ තරග 5කදී ලකුණු 309ක් ලබා ගනිමින් පිතිකරුවන් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටියි. එම ලකුණු සංඛ්‍යාවට එක් අගනා ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත් වීම විශේෂත්වයකි. ඔහුගේ මෙම දස්කම් පාකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේද දැඩි අවධානයට ලක්ව තිබේ.














