2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද (14) පූර්වභාග 10.51 ට උදාවිය. නැකැත් සීට්ටුවේ දැක්වෙන පරිදි රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත් සහ කැවිලි වර්ග පිළියෙළ කිරීමට මේ වන විට මුළු රටම සූදානමින් සිටියි. සහජීවනය සහ සංස්කෘතික අනන්‍යතාවය විහිදා දක්වමින් එකම නැකතකට ලිප් බැඳ ගිනි මොළවන මෙම අවස්ථාව අලුත් අවුරුද්දේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
ආහාර පිසීමේ චාරිත්‍රයෙන් අනතුරුව අද දිනයේ සහ ඉදිරි දින කිහිපය තුළ ඉටුකළ යුතු ප්‍රධාන චාරිත්‍ර මෙසේය:
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද (14) අපරභාග 12.06 ට යෙදී ඇත. එහිදී ද රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතුය. හිසතෙල් ගෑමේ නැකත හෙට (15) බදාදා පූර්වභාග 06.55 ට යෙදී ඇති අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා එම චාරිත්‍රය ඉටුකළ යුතුය.
මීට අමතරව, හදිසි රාජකාරී සඳහා පිටත්ව යාම අප්‍රේල් 17 වන සිකුරාදා පූර්වභාග 05.38 ට ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට හෝ 06.50 ට ද සිදු කළ හැකිය. පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වේ.















