යුක්රේන අගනුවර වන කියෙව් හි හොලොසිව්ස්කි දිස්ත්‍රික්කයේ පසුගිය සෙනසුරාදා සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලැබූහ. ප්‍රහාරකයා වීදියේ සිටි පිරිසට වෙඩි තබා අනතුරුව අසල සුපිරි වෙළඳසැලක සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන සිටියදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන මගින් පෙනී ගියේ සිද්ධිය වූ ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිවිල් වැසියන් ආරක්ෂා කරනවා වෙනුවට එතැනින් පලායන ආකාරයයි. මෙම නිලධාරීන්ගේ වෘත්තීය නොවන හැසිරීම සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් මතු වූ අතර එහි වගකීම භාරගනිමින් යුක්රේන මුර සංචාරක පොලිස් ප්‍රධානී යෙව්ගන් ෂුකොව් අද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා කියා සිටියේ අදාළ නිලධාරීන් අපරාධය සිදුවූ ස්ථානයේ සිටියදීත් මිනීමරුවා නැවැත්වීමට පියවර නොගෙන පලාගොස් ඇති බවයි. ඔවුන්ගේ මෙම අකර්මන්‍යතාවය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඊගෝර් ක්ලිමෙන්කෝ අවධාරණය කළේ ‘සේවය සහ ආරක්ෂාව’ යනු හුදු සටන් පාඨයක් පමණක් නොවිය යුතු බවයි. නිලධාරීන්ගේ වගකීම වන්නේ තීරණාත්මක මොහොතේදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම බවත් එය පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පරීක්ෂණවලට අනුව වෙඩි තැබීම සිදුකළ 58 හැවිරිදි පුද්ගලයා මීට පෙර මොස්කව් නුවර පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු භාවිතා කළ ගිනි අවිය නිසි ලෙස බලපත්‍ර ලබා ලියාපදිංචි කරන ලද්දකි. යුක්රේනය තුළ සිවිල් වැසියන්ට ස්වයං ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිත ගිනි අවි භාවිතයට අවසර තිබුණද, මෙවැනි වෙඩි තැබීම් කියෙව් නුවර අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ. ප්‍රහාරකයාගේ මානසික තත්ත්වය අස්ථාවර මට්ටමක තිබූ බවට හඳුනාගෙන ඇති අතර යුක්රේන බලධාරීන් මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ වන විට තුවාල ලැබූවන් අට දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ.














