රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කරමින් එල්ල කළ දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. යුක්‍රේන ගුවන් හමුදාව පවසන්නේ රුසියාවෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල 23න් එකක් හෝ බිම හෙළීමට තමන්ට නොහැකි වූ බවයි. දරුණු ලෙස පවතින ආරක්ෂක මිසයිල හිඟය මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.
මෙම මිසයිල ප්‍රහාර හේතුවෙන් කියෙව් නුවර පිහිටි නිවාස සංකීර්ණ රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇත. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි බටහිර මිත්‍ර රටවලින් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය දියුණු ගුවන් ආරක්ෂක පද්ධති කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසයි. මේ අතර, යුක්‍රේනය ද රුසියාවේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















