කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමේ වැඩසටහන සහ එම දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුව පසුගිය 11 වනදා නාරාහේන්පිට මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේදී පැවැත්විණි.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ.
“එක්ව විශිෂ්ටත්වය කරා” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුළ වෘත්තීය අභිප්‍රේරණය ඇති කිරීම මෙන්ම සේවාවල ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි.
2025 වර්ෂයේ කාර්ය සාධනය පදනම් කරගනිමින් මෙම වසරේ ඇගයීම් සිදුකර ඇති අතර, ඉදිරියේදීද වාර්ෂිකව මෙම කාර්ය සාධන ඇගයීම් වැඩසටහන පැවැත්වීමට කම්කරු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
ප්‍රධාන කමිටුව සහ අනු කමිටු 10ක් මගින් තෝරාගත් නිර්ණායක අනුව කලාප කාර්යාල 11ක්, දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40ක්, උප කම්කරු කාර්යාල 17ක්, දෙපාර්තමේන්තුවේ අංශ 27ක් සහ ඉංජිනේරු කාර්යාල 10ක් ඇතුළුව සියලුම කාර්යාලවල කාර්ය සාධනය ඇගයීමට ලක් කර තිබේ.
එහිදී තෝරාගත් කාර්යාල සඳහා සහතික පත් 85ක් ප්‍රදානය කර ඇත.
මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, වැඩසටහන සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.













