ලග්ගල කළුගඟ සහ මොරගහකන්ද ජලාශ සඳහා තම ඉඩම් පූජා කළ ජනතාව විසින් රජයෙන් ලබා දුන් ඉඩම්වල සාර්ථකව වගා කරන ලද රටකජු අස්වැන්න නෙළන අවස්ථාවේදීම වෙළඳපළ තුළ එහි මිල හදිසියේ පහත වැටීම හේතුවෙන් දේශීය රටකජු ගොවීන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති. මීට පෙර කන්නවලදී වියළි රටකජු කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිලකට අලෙවි වූ නමුත්, වර්තමාන අස්වැන්න වෙළඳපළට පැමිණීමත් සමඟම එම මිල රුපියල් 350ත් 370ත් දක්වා සැලකිය යුතු ලෙස අඩුවී තිබීම හේතුවෙන් ගොවීන්ට තම මූලික නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි වී තිබේ.
කජු බීජ කිලෝවක ඉහළ මිල මෙන්ම අස්වනු නෙළීම සඳහා දැරීමට සිදුවන අධික කම්කරු කුලිය සහ වියළා ගැනීමේ වෙහෙසකාරී ක්‍රියාවලිය සැලකිල්ලට ගත් විට, ලාභයක් ලබා ගැනීමට නම් වියළි රටකජු කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 500ත් 600ත් අතර මිලක් පැවතිය යුතු බව ගොවීහු පෙන්වා දෙති. මීට පෙරද මෙම ප්‍රදේශයේ ගොවීන් මුං ඇට, සෝයා බෝංචි, කව්පි සහ තල වැනි විකල්ප ධාන්‍ය වර්ග වගා කළ අවස්ථාවලදී නිසි මිලක් නොලැබීම නිසා එම වගාවන්ගෙන් ක්‍රමයෙන් ඉවත් වීමට සිදුවූ පසුබිමක් තුළ, වර්තමාන රටකජු අර්බුදය ද මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියට සහ ගොවිජන ජීවිතවල ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
නිසි මිලක් නොලැබුණහොත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම රටකජු වගාවෙන් ඉවත් වන බවට ගොවීන් මේ වන විටත් බලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති අතර, ජාතික ආහාර සුරක්ෂිතතාව සහ දේශීය ගොවියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා රජය මඟින් මෙම ගැටලුවට කඩිනම් සහ ස්ථිරසාර විසඳුමක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර ක්‍රියාත්මක නොවුවහොත්, මෙරට ප්‍රදේශ රැසක පුරවැසියන් කෘෂිකර්මාන්තයෙන් දුරස්වීමේ අවදානමක් පවතින බැවින්, ඉදිරි වෙළඳපළ යාන්ත්‍රණය තුළ ගොවියා ආරක්ෂා වන ක්‍රමවේමයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවකි.
















