කොළඹ – නුවර (A001) ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදයට විසඳුම් වශයෙන් වරකාපොල නගරය සහ අඹේපුස්ස මංසන්දිය අතර ඉදිකෙරෙන විකල්ප මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
කොළඹ – නුවර මාර්ගයේ ගමන් කරනු ලබන වාහන සංඛ්‍යාවේ වර්ධනයත් සමග පවතින රථවාහන තදබදය හේතුවෙන් අධික කාලයක් ගතවීම, අනවශ්‍ය ඉන්ධන පරිභෝජනය, මාර්ග භාවිත කරන්නන්ගේ අනාරක්ෂිත බව සහ නගරාශ්‍රිතව සිදුව ඇති පරිසර ගැටළු ආදියට විසඳුම් වශයෙන් මෙම විකල්ප මාර්ගය යෝජනා විය.
ව්‍යාපෘතියේ ප්‍රධාන විශේෂාංග:
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා යෝජකත්වයෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ මාර්ගයේ දිග කිලෝමීටර් 2.32 කි. එක් මංතීරුවක් මීටර් 3.5 බැගින් පළල මංතීරු දෙකකින් සමන්විත මෙම මාර්ගයේ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 4,998 කි. සමස්ත දිග මීටර් 476.5 ක කණු මත ඉදිවන පාලම් තුනකින්, තවත් පාලම් දෙකකින් සහ බෝක්කු අටකින් සමන්විත වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉදිරි දෙවසර තුළ අවසන් කිරීම අපේක්ෂාව වන අතර, මාගා ඉංජිනියරින් (පුද්.) සමාගම විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරයි.
මෙම අතුරු මාර්ගයේ ඉදිකිරීම් නිමවීමත් සමග වරකාපොල නගරය ආශ්‍රිතව පවතින වාහන තදබදයට ස්ථිරසාර විසඳුම් ලැබෙන අතර, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු වීමෙන් වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායී ලෙස මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සිදුකළ හැකිවනු ඇත. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, සර්ව ආගමික පූජකතුමන්ලා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.














