පසුගිය මාර්තු 22 වනදා නිව්යෝර්ක්හි ලාගාඩියා (LaGuardia) ගුවන් තොටුපළේදී එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) යානයක් සහ ගිනි නිවන රථයක් ගැටී නියමුවන් දෙදෙනෙකු මියගිය අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) සිය මූලික වාර්තාව නිකුත් කර තිබේ.
ගුවන් යානය සහ වාහන අතර දුර ප්‍රමාණය ගණනය කර අනතුරු අඟවන ගුවන් තොටුපළේ භූමි නිරීක්ෂණ පද්ධතිය (Ground Surveillance System) අනතුර සිදුවීමට පෙර ක්‍රියාත්මක වී නොමැති බව විමර්ශනවලදී හෙළි වී ඇත. එසේම, යානයේ ගැටුණු ගිනි නිවන රථයේ එහි පිහිටීම ගුවන් ගමන් පාලක මැදිරියට දැනුම් දෙන සංඥා උපකරණයක් (Transponder) නොතිබීම ද අනතුරට ප්‍රධාන හේතුවක් වී තිබේ.
යානය ගොඩබෑමට තත්පර දෙකකට පෙර මෙම ගැටීම සිදුව ඇති අතර, එම අවස්ථාවේදී යානය පැයට සැතපුම් 104ක වේගයෙන් ගමන් කර ඇත. රතු පැහැති ධාවන පථ පිවිසුම් ලාම්පු (Runway Entrance Lights) අනතුරට තත්පර තුනකට පෙර නිවී ගොස් ඇති අතර, සාමාන්‍යයෙන් එම ලාම්පු නිවී යන්නේ යානය ධාවන පථයට ළඟා වීමට තත්පර 2-3කට පෙර බව NTSB පවසයි. මෙම අනතුරෙන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 76 දෙනාගෙන් 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තාවේ සඳහන් වේ.














