දැනට දේශපාලනඥයින් සොරකම් නොකරන නමුත් රාජ්‍ය සේවකයින් තවමත් සොරකම් කරමින් සිටින බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව සේවක පිරිසකට පත්වීම් ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ වත්මන් ප්‍රශ්නය සල්ලි නොමැතිකම නොව, රුපියල් 100ක් වෙන් කළ විට ඉන් රුපියල් 60ක වැඩක් පමණක් සිදුවන තරමට රාජ්‍ය සේවය තුළ තවමත් සිදුවන සොරකම බවයි. පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කර නොමැති බව පවසමින් ජනතාව තවමත් බණින්නේ වත්මන් පාලකයින්ට බවද ඔහු පෙන්වා දුන්නේය.
හිටපු පාලකයින් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා 2024 වන තෙක් කිසිවක් නොමැති බව පවසා ජනතාවට කලිසම්වල පටි තද කරගන්නා ලෙසත්, රට ගොඩනැඟීමට 2048 වන තෙක් සිටින ලෙසත් ප්‍රකාශ කළ බවයි. කෙසේ වුවද, තමන් ප්‍රභූ නොවන පන්තියේ පාලනයක් ලෙස දිගටම බලයේ සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, දැනටමත් අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති බවත් ලාල්කාන්ත මහතා පැවසීය. ලෝක අර්බුද පවතින අවස්ථාවල පවා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කැපීමට හෝ ගොවි සහනාධාර අත්හිටුවීමට පියවර නොගෙන, සියල්ල නිවැරදිව කළමනාකරණය කරමින් රජය ඉදිරියට යන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















