සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මීට වසර 9කට පෙර ප්‍රකාශයට පත් කළ මාලදිවයිනෙන් යළිත් වරක් සරම්ප ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ග්‍රේටර් මාලේ (Greater Malé) කලාපයෙන් නව ආසාදිතයන් සිවුදෙනකු වාර්තා වීමත් සමඟ මෙලෙස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මාලදිවයිනේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (HPA) නිවේදනය කර තිබේ.
මේ වන විට මාලදිවයින් රජය සරම්ප රෝගය මැඬපැවැත්වීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, ඊට සහාය වීම සඳහා ඉන්දියාව විසින් සරම්ප එන්නත් කට්ටල 20,000ක් සහ ටොන් 3ක වෛද්‍යාධාර එරට වෙත ලබා දී ඇත. මෙම එන්නත් තොගය සහ වෛද්‍ය උපකරණ භාරදීම මාලදිවයිනේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී සිදුව තිබේ. සරම්ප රෝගයෙන් ආරක්ෂා වීම සඳහා එරට සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය මහජනතාව වෙත උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති අතර, උණ සමඟ සම මත රතු ලප ඇතිවන ඕනෑම පුද්ගලයකු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව මාලදිවයිනේ ‘අදාදු’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.
















