රජයේ ඉඩම් ඌන භාවිතය මඟහරවා ගනිමින්, එම ඉඩම් නව ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීමේ අරමුණින් කාලයට ගැළපෙන නව ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉඩම් ආඥා පනත සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ යල්පැනගිය චක්‍රලේඛ සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුව සමඟ පැවැති සාකච්ඡාවකදීය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යාංශ කිහිපයක ඉහළ පෙළේ නිලධාරීන් සහ නීති විශේෂඥයන් ඇතුළත් වේ. මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රජයේ ආදායම් වර්ධනය වන පරිදි සහ බදුකරුවන් අගතියට පත් නොවන අයුරින් ඉඩම් බදු අය කිරීමේ විධිමත් සහ ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වා දීමයි.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු කිහිපයක් පහත පරිදි වේ.
දිගුකාලීන ඉඩම් බදු ලබා දීමේදී සහ නිදහස් දීමනාපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන වාර්ෂික බදු මුදල් වර්තමාන ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි නැවත සමාලෝචනය කිරීම.
දීර්ඝකාලීන බදු ලබා දීම්වලට අදාළ චක්‍රලේඛ නව අවශ්‍යතා සහ නීතිමය ප්‍රතිපාදනවලට අනුව සංශෝධනය කිරීම සහ නව නියෝග සකස් කිරීම.
ඉඩම් භාවිතයේ පවතින නීතිමය බාධක සහ චක්‍රලේඛවල පවතින ගැටලු නිරාකරණය කරමින්, ආයෝජකයන්ට සහ මහජනතාවට ඉඩම් භාවිතය පහසු කිරීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම.
මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රජයේ ඉඩම් කළමනාකරණය විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව සිදු කිරීම හරහා ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ.
















