වත්මන් ෆෝමියුලා වන් (F1) ලෝක ශූර ලැන්ඩෝ නෝරිස් (Lando Norris), දිගුකාලීනව මැක්ලරන් (McLaren) කණ්ඩායම සමඟ රැඳී සිටීමේ අරමුණින් 2030 දක්වා බලපැවැත්වෙන පරිදි සිය ගිවිසුම දීර්ඝ කර තිබේ.
පසුගිය ඉරිදා (අගෝස්තු 23) පැවති ඩච් ග්‍රෑන්ඩ් ප්‍රී (Dutch Grand Prix) තරගය ජයග්‍රහණය කරමින් පිට පිට ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික නෝරිස්, මෙම දිගුකාලීන ගිවිසුමට එළඹ ඇත්තේ සිය ලෝක ශූරතාව සාර්ථකව ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තු ද තහවුරු කරමිනි.
මෙම නව ගිවිසුමට 2030 වසරෙන් ඔබ්බට තවත් වසර කිහිපයකට දීර්ඝ කිරීමේ විකල්පයක්ද ඇතුළත් බව මැක්ලරන් කණ්ඩායම නිවේදනය කර තිබේ.
පසුගිය වාරයේදී 2008 වසරේ ලුවිස් හැමිල්ටන්ගෙන් පසු මැක්ලරන් කණ්ඩායමට පළමු රියැදුරු ශූරතාව දිනා දීමට නෝරිස් සමත් විය.
වයස අවුරුදු 17දී මැක්ලරන් කණ්ඩායමේ කනිෂ්ඨ වැඩසටහනට එක් වූ ඔහු, 2019 වසරේදී සිය පළමු ෆෝමියුලා වන් තරගයට සහභාගී විය.
“මැක්ලරන් කියන්නේ මගේ නිවස. අවම වශයෙන් 2030 වසර දක්වා කණ්ඩායම සමඟ රැඳී සිටීමට නව ගිවිසුමකට අත්සන් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා,” යනුවෙන් නෝරිස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.
















