ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සඳහා රජය විසින් වෙන් කරන ලද ඉන්ධන සහනාධාර ප්‍රතිපාදන එළඹෙන ජුනි මාසයෙන් අවසන් වන බව එහි සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් ඔහු මේ බව සඳහන් කළේය.
සභාපතිවරයා පැහැදිලි කළ පරිදි, අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයකට රුපියල් 100 ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක සහනාධාරයක් රජය විසින් ලබා දී ඇත. මේ වෙනුවෙන් අප්‍රේල් මාසය සඳහා පමණක් රුපියල් බිලියන 15.3 ක මුදලක් වැය වී ඇති අතර, වෙන් කළ මුළු සහනාධාර ප්‍රතිපාදනය රුපියල් බිලියන 20 කි. ජුනි මාසයෙන් පසු මෙම සහනාධාරය දිගටම පවත්වාගෙන යාම පිළිබඳව රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සභාපතිවරයා අවධාරණය කළේය.
රජය රුපියල් 100 ක සහනාධාරයක් ලබා දුන්නද, අප්‍රේල් මාසයේ දත්ත අනුව ඩීසල් ලීටරයකින් සංස්ථාවට සිදුවන සම්පූර්ණ අලාභය රුපියල් 129 කි. ඒ අනුව රජයේ සහනාධාරයෙන් පසුවද තෙල් සංස්ථාව තවමත් ඩීසල් ලීටරයකින් රුපියල් 29 ක පාඩුවක් විඳින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන මිලදී ගැනීම සඳහා විදේශ විනිමය (ඩොලර්) සොයා ගැනීමේදී මතු වූ ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වෙළඳපොළේ ඩොලර් හිඟ වූ අවස්ථාවලදී මහ බැංකුවේ මැදිහත්වීමෙන් ඩොලරය රුපියල් 350 ට නොවැඩි මට්ටමකින් ලබා ගැනීමට කටයුතු කළ බව සභාපතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, තෙල් සංස්ථාව විසින් සැලසුමකින් තොරව වරකට ඩොලර් මිලියන 50 ක් වැනි විශාල මුදලක් වෙළඳපොළෙන් එකවර ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා විනිමය අනුපාතය ඉහළ යන බවයි. මෙලෙස ඩොලර් මිල ඉහළ යාම සමස්ත ජනතාවම පීඩාවට පත් කරන බවට මන්ත්‍රීවරයා අනතුරු ඇඟවූ අතර, ඊට පිළිතුරු දෙමින් සංස්ථා සභාපතිවරයා කියා සිටියේ දැනට පවතින සැලසුම අනුව දිනකට ඩොලර් මිලියන 11 බැගින් බැංකු හරහා ලබා ගැනීමට කටයුතු කරන බවයි.
















