රජයට අයත් ‘සයුර’ කැණීම් නෞකාව වංචනික ලෙස අඩු මුදලකට බදු දී රජයට රුපියල් මිලියන 22ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති නිලංග රූපසිංහ සහ චතුරිකා සත්සරණි යන සැකකරුවන් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කළේය. රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේ, හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 1000ක් පමණ වටිනා මෙම නෞකාව තමන් විසින්ම ව්‍යාජ ලෙස අටවාගත් සමාගමකට බදු දී ඇති බවයි. ඔහු මෙම සමාගම ලියාපදිංචි කර ඇත්තේ පාපැදියක් පමණක් හිමි ආයුර්වේද ආයතනයක ආරක්ෂක නිලධාරියෙකුගේ නමිනි. දෙවන සැකකාරිය එම නැව් සමාගමේ සේවිකාවක් වන අතර, ඇයගේ ගිණුමට රුපියල් ලක්ෂ 27ක මුදලක් බැර වෙමින් මෙම වංචාවට ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල කියා සිටියේ එවැනි වංචාවක් සිදුව නැති බවත්, දිරාපත් වෙමින් තිබූ නෞකාව පිළිසකර කර බදු දීමට කටයුතු කළේ සභාපතිවරයා බවත්ය.
















