වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (2026 ජූලි 24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල ගණන් පහත හෙළීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම සහන මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගැනීමට පාරිභෝගිකයන්ට පහසුකම් සලසා ඇත.
මෙම මිල සංශෝධනයට අනුව රතු ලූණු කිලෝග්‍රෑමයක මිල රූපියල් 71කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379කි. රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 18කින් අඩු කර රුපියල් 227කට ද, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 8කින් අඩු කර රුපියල් 329කට ද අලෙවි කිරීමට නියමිතය. එමෙන්ම රතු කැකූළු සහල්, ඉන්දියන් බී ලූණු සහ දේශීය අල කිලෝග්‍රෑමයක මිල රුපියල් 6 බැගින් පහත හෙළා ඇති අතර, ඒවායේ නව මිල ගණන් පිළිවෙළින් රුපියල් 173, රුපියල් 259 සහ රුපියල් 349 ලෙස දැක්වේ.
මීට අමතරව දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 199ක් වන අතර (රු. 5ක අඩුවීමක්), සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 214කට ද (රු. 3ක අඩුවීමක්), පාන් පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 158කට ද (රු. 1ක අඩුවීමක්) ලබාගත හැකිය. ටින් මාළු මිල ගණන් ද පහත හෙළා ඇති අතර, ග්‍රෑම් 425 ටින් මාළු ටින් එකක් රුපියල් 7කින් අඩු වී නව මිල රුපියල් 473ක් ලෙසත්, ග්‍රෑම් 155 ටින් මාළු ටින් එකක් රුපියල් 5කින් අඩු වී නව මිල රුපියල් 235ක් ලෙසත් මිල කර ඇත.














