ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES ආයතනය, දිනෙන් දින ඉහළ යන පාරිසරික උෂ්ණත්වයට විසඳුමක් ලෙස, මෙරට ප්‍රථම වරට සූර්ය තාප පරාවර්තන “COOL ROOFTOP TILE®” නිෂ්පාදනය පසුගිය ජූලි 02 දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.
මෙම නවතම නිෂ්පාදනය විවෘත කොන්ක්‍රීට් වහල, ටෙරස් සහ බැල්කනි වැනි අධික තාපයට නිරාවරණය වන ස්ථාන සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. වර්තමානයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගොඩනැගිලි තුළ ඇති වන දැඩි උණුසුම පාලනය කිරීමට සහ ඒ සඳහා භාවිතා කරන විදුලි උපකරණවල භාවිතය අවම කිරීමට මෙම ටයිල් භාවිතය ප්‍රායෝගික විසඳුමක් වනු ඇත.
මෙම නිෂ්පාදනය සූර්ය තාපය අවශෝෂණය වීමට පෙර එහි සැලකිය යුතු කොටසක් පරාවර්තනය කරයි. එමගින් වහල මතුපිට සිසිල්ව තබා ගනිමින් ගෘහස්ථ පරිසරයේ සුවපහසුව වැඩි දියුණු කරයි. මෙය ඉන්දියාවේ CEPT Advisory Foundation (CAF) ආයතනය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී 96කට අධික Solar Reflectance Index (SRI) අගයක් ලබා ගැනීමට සමත්ව ඇත. මෙය තාපය පරාවර්තනය කිරීමේ ඉහළ හැකියාව තහවුරු කරන ජාත්‍යන්තර දර්ශකයකි.
LANKATILES ආයතනයේ නිෂ්පාදනවලට ආවේණික වූ කල්පැවැත්ම, උසස් නිමාව සහ ගුණාත්මකභාවය මෙහිදී ද ආරක්ෂා කර ඇත. මෙම නවෝත්පාදනය උණුසුම් දේශගුණික තත්ත්වයන් හමුවේ නිවාස හිමියන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉංජිනේරුවන්ට සිය ගොඩනැගිලි නිර්මාණ වඩාත් සුවපහසු සහ තිරසාර අයුරින් පවත්වා ගැනීමට මග පෙන්වයි. LANKATILES PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා පෙන්වා දුන්නේ, දශක පහකට වැඩි සිය අත්දැකීම් සමඟ ශ්‍රී ලාංකීය පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමට සහ පවතින පාරිසරික අභියෝගයන්ට නවෝත්පාදන හරහා විසඳුම් ලබා දීමට තම ආයතනය කැපවී සිටින බවයි.














