ලාඕසයේ මධ්‍යම ප්‍රදේශයේ සයිසොම්බෝන් පළාතේ පිහිටි ගුහාවක් තුළ රන් සෙවීමේ අරමුණින් ඇතුළු වී සිරවී සිටින ලාඕ ජාතිකයින් හත්දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුම මේ වන විට ඉතා තීරණාත්මක සහ අසීරු අදියරක පවතින බව වාර්තා වනවා. පසුගිය සතියේ ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑමකින් ගුහාවෙන් පිටවන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීම මෙම පිරිස සිරවීමට හේතු වී තිබෙනවා.
මෙහෙයුම්වල නිරත තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ, ගුහාව තුළ සිරවී සිටින පිරිස බේරා ගැනීමට නම් විශාල ඔක්සිජන් සිලින්ඩර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. “අපට හැකි තාක් දුරට ඔක්සිජන් සිලින්ඩර ණයට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. එමෙන්ම ගුහාව ඉදිරිපිට ඔක්සිජන් නැවත පුරවන මධ්‍යස්ථානයක් (Oxygen refilling station) පිහිටුවීමට ද අප බලාපොරොත්තු වෙනවා,” යැයි තායි ස්වේච්ඡා නායක කෙන්කාඩ් බොන්කවොන්ග් (Kengkard Bongkawong) පවසා තිබෙනවා.
සිරවී සිටින පිරිසගේ තත්ත්වය පිළිබඳව ද විවිධ වාර්තා පළ වනවා. තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායම් පවසන්නේ පස්දෙනෙකු සොයාගෙන ඇති බව වුවත්, ලාඕසයේ “Rescue Volunteer for People” සංවිධානය පවසන්නේ හත්දෙනාම නිරුපද්‍රිතව සොයාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මෙම තොරතුරු තවමත් ස්වාධීන පාර්ශවයන් මඟින් තහවුරු කර නොමැත.
මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා 2018 වසරේ තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායම මුදාගැනීමේ මෙහෙයුමට දායක වූ ප්‍රවීණ කිමිදුම්කරුවෙකු ද එක්ව සිටිනවා. 2018 වසරේ මෙහෙයුමට ලැබුණු ජාත්‍යන්තර සහාය හා සමානව, මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා කඩිනම් සහායක් සහ සම්පත් සැපයීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.
















