දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානියට ලක්වූ ඌව පරණගම, උමා ඇළ මහා වාරි ව්‍යාපෘතිය ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (27) දින නිල වශයෙන් ආරම්භ කෙරුණා. ආපදා තත්ත්වය හමුවේ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට පියවර ගත්ත ද, වාරි පද්ධතියේ දිගුකාලීන පැවැත්ම සහ ගොවි ජනතාවගේ අවශ්‍යතා සලකා බලා මෙම ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 228.6ක මුදලක් වැය කිරීමට නියමිතයි. ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ඇළ පේරවැල්ල අමුණ අසලදී පැවැත්වුණු අතර, එය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමත් සමඟ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් කිසිදු බාධාවකින් තොරව ලබා ගැනීමට ගොවි ජනතාවට අවස්ථාව උදාවනු ඇති.
















