අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි නීතීඥවරිය ලබන මැයි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තමරා කුමාරි අබේරත්න නමැති නීතීඥවරියයි. මෙම ඝාතනය සිදු කිරීම සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට, පිස්තෝල ගිනි අවිය අධිකරණය තුළට සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව අධිකරණයේදී කරුණු හෙළි විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකාර නීතීඥවරිය 2025 ඔක්තෝම්බර් 28 වැනිදා කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඝාතනයට අදාළ ගිනි අවිය රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේ සැඟව සිටියදී මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.
2025 පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 05 අධිකරණයේ විත්තිකූඩුව තුළ සිටියදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි. රැඳවුම් නියෝග මත සිටි නීතීඥවරිය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.














