මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කිසිදු ආකාරයකින් අයථා ගෙවීම් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (27) අවධාරණය කළේය. මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් කිසිදු ගිණුමකින් කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාව්‍ය එකක් බවත් එය තමන් තරයේ හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ගෙවීම් සිදු කිරීමේ පවතින සම්මත ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. රජයේ මුදල් පරිහරණය කිරීමේදී ඉතා විනිවිදභාවයකින් සහ නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් කටයුතු කරන බව ඔහු සහතික කර සිටියේය.
දේශපාලන වාසි තකා මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.














